Mar 3, 2010

පරිගණක හාඩ්වෙයා පාඩම - 2

පසුගිය කලාපයේ පරිගණකයක් යනු කුමක්ද යන්නත්, එහි භාවිත සහ පරිගණකයක දැනගත යුතු මූලික කොටස් පිලිබඳ අපි සාකච්ඡා කල බව ඔබට මතක ඇති. ඇත්ත වශයෙන්ම පරිගණක පිලිබඳ යම්තාක් දුරට දන්නා කෙනෙකුට නම් මෙම පාඩම් මාලා‍වේ යම් වෙනසක් පෙනෙනු ඇත. බොහෝ අවස්ථා වල මෙන් මා මෙහිදී න්‍යායාත්මක කරුණු මුලින් සාකච්ඡා නොකිරීම එයට හේතුවයි. නමුත් ඔබගේ මතු ප්‍රයෝජනය උදෙසා යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කෙරේ.

පහත රූප සටහන පිළිබඳ ඔබගේ අවධානය ‍මදකට යොමු කරන්න.





මෙහි දක්වා ඇත්තේ පරිගණකයක මූලික සැකැස්ම කීවොත් නිවැරදිය. පරිගණකය යනු දත්ත තොරතුරු බව‍ට සකසන උපකරණයක් බව අප මුල් පාඩමේ සඳහන් කලෙමු. පරිගණකයට දත්ත ලබා දෙන්නේ Input Devices මගිනි. මේවා ආදාන උපක්‍රම ලෙසින්ද හැදින්වේ. මූසිකය (mouse) , යතුරු පුවරුව, මයික්, වෙබ් කැමරා, පරිලෝකන යන්ත්‍ර (Scanner) වැනි දෑ මෙම input devices ගණයට වැටේ.

මෙම input devices මගින් ලබාගන්නා දත්ත මධ්‍යම සැකසුම් ඒකකයේදී (Central Processing Unit - CPU ) තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලියට ලක්වේ. මධ්‍යම සැකසුම් ඒකකය කොටස් 3කින් සමන්විතය.

  1. පාලන ඒකකය (Control unit) - පරිගණකයේ සියලුම දත්ත සැකසුම් කටයුතු හා උපාංග පාලනය වන්නේ මෙම කොටසෙනි.
  2. රෙජිස්ටර (Registers) - මේවා ප්‍රධාන ප්‍රොසෙසරය තුල ඇති කුඩා මතක ගබඩාවන් වේ. දත්ත සැකසීමේ වේගය වැඩි කිරීම සඳහා සැකසෙමින් පවතින දත්ත මේවා තුල රඳවා ගනී.
  3. ගණිත හා තාර්කික ඒකකය (Arithmetic & Logic unit) - මෙමගින් දත්ත සැකසීමේදී සිදුවිය යුතු ගණිතමය මෙන්ම තාර්කික කටයුතුද සිදු කෙරේ.

මෙහිදී CPU මගින් දත්ත සැකසෙන අතරතුරදී ඒවා පරිගණකයේ ඇති තාවකාලික හෝ ස්ථිර මතකයන් තුල තැන්පත් කෙරේ. ‍Ram (Random access memory- සසම්භාවී ප්‍රවේශ මතකය), දෘඩ තැටිය (Hard disk) හා වෙනත් මතක ගබඩා ක්‍රම මෙයට ඇතුලත් වේ.

අවසානයේ සැකසුනු තොරතුරු පරිශීලකයාට ලබා දෙන්නේ Output Devices මගිනි. මේවා ප්‍රතිදාන උපක්‍රම ලෙසින්ද හැඳින්වේ. මොනිටරය (monitor), මුද්‍රණ යන්ත්‍රය (Printer), ස්පීකර (Speakers), මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් වැනිදෑ මෙවා‍ට අයත් වේ.

ඕනෑම පරිගණකයකට මෙම කරුණු අදාල වන අතර අපි තවදුරටත් පරිගණක දෘඩාංග වල විකාශනය සොයා බලමු. (කාලසීමාවන් ආසන්න වශයෙන් යොදා ඈත)

  • පලමු පරම්පරාව (1944-1959) - මෙහිදී පරිගණක සඳහා රික්ත නල (Vacuum Tube)  තාක්ෂණය භාවිතා විය. ඒවා සඳහා විශාල කාමරයක තරමි ඉඩ වැය වූ අතර කාර්යක්ෂමතාව අතින් සාපේක්ෂව බොහෝ අඩුය.
  • දෙවන පරම්පරාව (1960-1964) - ට්‍රාන්සිස්ටර තාක්ෂණයේ පැමිණීමත් සමග පරිගණතයේ දෙවන පරපුර ආරම්භ විය. පරිගණකය ප්‍රමාණයෙන් කුඩාවූ අතර කාර්යක්ෂමතාවයද සාපේක්ෂව වැඩි විය.
  • තෙවන පරම්පරාව (1964-1975) - සංගෘහිත පරිපථ (Integrated Circuits) සොයාගැනීමත් සමග පරිගණකයේ තෙවන පරපුර බිහිවූ අතර පෙරටත් ව​ඩා පරිගණකය ප්‍රමාණයෙන් කුඩා වීමටද කාර්යක්ෂමතාවය වැ​ඩි වීමටද එය හේතු විය.
  • සිව්වන පරම්පරාව (1975- අද) - ක්ෂූද්‍ර සකසන ( Micro Processor) කරලියට පැමිනීමත් සමග පරිගණකයේ සිව්වන පරපුර ඈරඹුනු අතර එය පරිගණක ක්ෂේත්‍රයේ සැලකිය යුතු වෙනසක් කල බව කිව යුතුය. අද භාවිතාවන පුද්ගලික පරිගණකයක ක්ෂුද්‍ර සකසනය ප්‍රධාන කාර්යභාරයක් කරන බව අප සැවොම දන්නා කරුණකි.

මෙහිදී අප සාකච්ඡා කල න්‍යායාත්මක කරුණුත් සිතට ගෙන අපි ඊලඟ පාඩමේ සි‍ට ප්‍රායෝගිකව පරිගණකයක් එකලස් කරගන්නා හැටි ඉගෙන ගනිමු.

3 ප්‍රතිචාර:

änthräX said...

පලමු පරම්පරාවෙ පරිගනකයක් හොයාගන්න යුනිටි එකේ කොයි කඩේටද යන්නෝනා :P

හොද පැහැදිලි කිරීමක්.

Kanishka | කණියා said...

@änthräX
එච්චර ඕන නෑ බන් :D පුලුවන් නම් 286 හරි 386 හරි එකක් හොයල දියන් :D

කෝලමා said...

නියමයි කණියා !, මේ පාඩම් මාලාව දිගටම කරන් යන්න ඔන්න... :D

ජය වේවා.

Post a Comment

Thanks for your comments :)